ස්ත්‍රී පුරුෂ භාවය ජ්‍යෝතිෂය මගින්

ගැහැණියක් – පිරිමියෙක්ගෙන්ද, පිරිමියෙක් – ගැහැණියෙක්ගෙන්ද වෙනස් වන්නේ කුමන හේතුන් නිසාද යන්න ඔබෙන් ඇහුවොත්, එයට ඔබ දෙන පිළිතුර කුමක්ද?

මේ මොන මෝඩ ප්‍රශ්නයක්දැයි ඔබට ක්ෂණයකින් සිතෙන්නට ඉඩ හැක. එහෙත් විමසා බලන්න

පුරුෂයෙකුට සහ ස්ත්‍රීයකට වෙනස් ලිංග ඇති බව ඔබ කියනු ඇත. එහෙත් පුරුෂයකූට, බාහිර වශයෙන්ද, ගැහැණියකට අභ්‍යන්තරයේ ද එම ලිංගේන්ද්‍රියන් තිබෙන බව, තවත් කෙනෙක් කියනු ඇත. ‘ගැහැණියකට නෙරාගිය පියොවුරු ඇති බව’ තවත් කෙනෙකු කියනු ඇත. එය එසේ නම්, පුරුෂයන්ට, සංකේතාත්මකව හෝ තන පුඩු ඇත්තේ ඇයි ? [මෙය දෙවියන්ට වූ විශාල වැරදීමක්වත්ද? “දෙවියන්ගේ ස්වරුපයෙන් මිනිසා මැව්වේය” කියන දේවවාදී ආගම් වල, දෙවියන්ද ස්ත්‍රී ආකාර වුයේ යයි නොකියා කීමක්ද ? එය වෙන කතාවකි.] තවත් ඈතකට යන කෙනෙක් ගැහැණියකගේ ලිංගේන්ද්‍රිය , පුරුෂ ලිංගේන්ද්‍රියේම විකාශයක් බව හෝ අනෙක් අතට පුරුෂ ලිංගේන්ද්‍රිය, ගැහැණු ලිංගේන්ද්‍රියේම විකාශයක් බව කියනු ඇත. ශිෂ්ණය සහ භගමනියේ ඇති සමානතා ගැනද මෙහිදී කෙනෙක් කියනු ඇත.

මේ අතර කලාතුරකින් ස්ත්‍රී හෝ පුරුෂ ලිංග විපර්යාසය ඇති වේ. එය එසේ නම් ගැහැණු සහ පිරිමි භේදය ඇති වන්නේ කුමකින්ද? ලිංගික සැපත සොයන ආකාරයෙන්ද ගැහැණු පිරිමි භේදය වෙනස් වේ නම්, සියලු අංගෝපාංග ඇති පුරුෂයන් හෝ ස්ත්‍රීන් සමරිසි ක්‍රමයෙන් එම සැපත සොයයි. සමහර ස්ත්‍රීන් ගෙන් කෙනෙක්, තවත් ස්ත්‍රියක් සමඟ හැර, පිරිමින් සමඟ කම් සැපතේ වෙළෙන්නට අකමැති බවත් ඔබ දනී. සෑම පිරිමියෙක් තුලම ගැහැණියෙක් ද , සෑම ගැහැණියක් තුලම පිරිමියෙක්ද ඇති බව කියවේ. බටහිර වෙද ක්‍රමය අනුව සෑම දරුවෙක්ම පළවන සති 6 හෝ 7 ක් ඇතුළත ගැහැණු දරුවෙකි.

එසේ හෙයින් ජ්‍යෝතිෂයේ මේ සම්බන්දව ගන්නට හැකි කිට්ටුම නිගමනය ස්ත්‍රී පුරුෂ බව නොව, කොතෙක් “ස්ත්‍රී ආකාරද” නැතහොත් “පුරුෂාකාරද” යන්නම වේ. මේ හෙයින් ජ්‍යෝතිෂය අනුව කායික මෙන්ම මානසික ලෙසද ස්ත්‍රී පුරුෂ භාවය සෙවීම, හිතන තරම් ලෙහෙසි කාර්‍යයක් නොවන බව මගේ නම් පුද්ගලික අදහස වේ…

කෙසේ නමුදු කීප දෙනෙක් අසා තිබූ මේ ප්‍රශ්නයට සාම්ප්‍රදායික ජ්‍යෝතිෂයේ එන ක්‍රම පහත සේ දක්වමි. මෙය අවබෝධ ඥාණය මෙන්ම ප්‍රත්‍යක්ෂ ඥාණය ඇති අය පමණක් ග්‍රහනය කල යුතු දෙයකි. ජ්‍යෝතිෂයේම එන සිද්ධාන්තයකින් මෙය ආරම්භ කරමි. එනම්, ‘ජ්‍යෝතිෂය ඉගෙන ගැනීමට හැකි කෙනෙක්ට , මේ ලෝකයේ ඉගෙන ගත නොහැකි ශාස්ත්‍රයක් නැත.’ යන සිද්ධාන්තයයි. එක් ඇඟිල්ලක් ඔසවා, සිද්ධාර්ථ කුමරුන් බුදු වන බැව් කියූ කොන්ඩඤඤ බමුණා, ගෞතම සම්බුද්ධ සසුනේ පළමු රහත් තෙරුන් විය. එය ඥානයේ අග්‍ර ප්‍රතිපලයයි. අන්ධ විශ්වාසය පදනම් කර ඇති මෝහයේ විලෝමයයි.

මෙතනින් එහාට මේ මාතෘකාව බොහෝ නීරස වේ. මෙසේ හෙයින්, ස්ත්‍රී පුරුෂ භාවය සෙවීම සඳහා පහත සියලු ක්‍රම අනුගමනය කර නිගමනයකට පැමිණිය යුතුය.

නවකයන් සඳහා වදනක්:

මා මෙහි දැමූ, මා විසින්ම තනාගත් අහස් සිතුවමට සමාන සිතුවමක් ඔබටද තනා ගත හැක. එය පිළිකාවකින් මියගිය රෝගියෙක්ගේ සටහනකි. එහෙත් එය ඔබ කල යුත්තේ ඔබ මා මෙන් දෘෂ්ටි වර්ගයට, එනම් ඇසෙන් බලා ග්‍රහ පිහිටීම් ස්ථාන ආකාරයේ කෙනෙක් වුවොත් පමණි. මනසින් ග්‍රහයන් ඇති තැන් තේරුම් ගන්නට සහ, එම ග්‍රහයන් අතර ඇති සංයෝග තේරුම් ගන්නට මගේ කල්පිත නුවණ මඳ වේ.

ආදර්ශ සටහන

තත්කාල ක්‍රමය:

උපන් වේලාව ලැබුණු අවස්ථාවේ තත්කාල කේන්ද්‍රයේ චන්ද්‍ර ස්ඵුටය වැටුණු භාවය, රාශි, හෝරා, දෙර්කානය, නවාංශකය, දවා දශාංශ ලෙස බලන්න. එය පුරුෂ හෙවත් විෂම සහ ස්ත්‍රී හෙවත් සම අවස්ථා වැඩි වේ නම්, ඒ ආකාරයට ස්ත්‍රී පුරුෂ භාවය වේ. තවද ප්‍රශ්නය අසන මොහොතේ තත්කාල කේන්ද්‍රයේ 3,5,6,11 ස්ථාන වල රවි, කුජ, ගුරු යන ග්‍රහයන් සිටීද , එවිට පුරුෂයෙකි. නැති නම් ස්ත්‍රියකි…

ඉඩා, උදාන නාඩි ක්‍රමය:

දෛවඥයාගේ ඉඩා උදාන නාඩි ක්‍රමය මතද මෙය නිරීක්ෂණය කල හැක.

චන්ද්‍රයාගෙන් සහ ඔජ, යුග්ම රාශි ඇසුරෙන් බැලීම :

චන්ද්‍ර රාශිය අධිපතියා සිටින රාශිය ඔජ හෝ යුග්ම රාශියක සිටීම සලකන්න. ඔජ නම් පිරිමියෙක්ද, යුග්ම නම් ගැහැනියෙක්ද පෙන්වයි. තවද මෙයටම, ඔජ රාශීන්ගේ ප්‍රථම සහ අවසාන දෙර්කානවල පුරුෂයන්ද, මැද දෙර්කානයේ ස්ත්‍රීන්ද වේ. යුග්ම රාශීන්ගේ ප්‍රථම සහ අවසාන දෙර්කානවල ස්ත්‍රීන්ද, මැද දෙර්කානයේ පුරුෂයන්ද වේ…

ඉතාම නිවැරදි ලෙස සැලකෙන්නේ පහත ක්‍රමයයි:

පිරිමි උපතකදී ලග්නාධිපති ග්‍රහයා, චන්ද්‍රයා, රවී, ගුරු යන ග්‍රහයන්ගෙන් වැඩි දෙනෙකු පුරුෂ රාශි වල සහ පුරුෂ නවාංශක වල පිහිටයි. එසේම ස්ත්‍රී උපතකදී, ලග්නාධිපතියා, රවි, චන්ද්‍ර, කුජ, සිකුරු, යන ග්‍රහයන්ගෙන් වැඩි දෙනෙකු ස්ත්‍රී රාශි වල පිහිටයි. (මෙහිදී රාශි නාමය පුරුෂ වී නවාංශකය ස්ත්‍රී වීම, රාශි නාමය ස්ත්‍රී වී එහි සිටි ග්‍රහයා නවාන්ශකයේ පුරුෂ වීම, ස්ත්‍රී රාශියක ගුරු ස්ත්‍රී නවාන්ෂකයකට යාම, පුරුෂ රාශිගත සිකුරු හෝ කුජ පුරුෂ නවාන්ෂකයකට යාම් උත්පත්ති විනිශ්චයට බලපෑම අඩු වේ.)

තවත් ක්‍රමයක්:

සඳු සිටි නවාංශක අධිපතියා ඔත්තේ භාවයකට පිවිස සිටීම පුරුෂ උපතක්ද, ඔහු යුග්ම රාශියකට පැමිණ සිටීම ස්ත්‍රී උපතක්ද පෙන්වයි. (මේ කියන දෙය තේරෙන්නේ නැති කෙනක් සඳහා, දමා ඇති ආදර්ශ කේන්ද්‍රය මගින් එය විස්තර කරමි. මේ පිළිකාව හැදී මියගියේ පිරිමි කෙනෙකි. ඔහුගේ උපතේදී සඳු සිටින්නේ මිතුන රාශියේ ධනු නවාංශකයේය. එය රතු පාටින්, කොටුවක් තුල පෙන්වා ඇත. ධනුව අයිති ගුරු හෙවත්, බ්‍රහස්පති හෙවත්, ඉංග්‍රීසියෙන් කියන විට ජුපිටර් ටය. මේ ග්‍රහයා පිරිමියෙකි. ඔහු උපතේ සිටින්නේද ඔත්තේ නවාංශකයක් වන තුලා වේය. එසේ හෙයින් මේ පුද්ගලයා පිරිමියෙක් විය.)
එහෙත් මා කර ඇති නිරීක්ෂණ අනුව නම් මෙය වැරදුනු අවස්ථා ඇත.

මීට අමතරව  දූතයා පැමිණීම සහ ඔහු කරණ දෙය පදනම් කරගෙන නිමිත්තක් බැලීම මගින් ස්ත්‍රී පුරුෂ භාවය සොයනා ක්‍රමයක් ද ඇත. එය මෙහි සඳහන් නොකරමි.

 

මා සොයාගත් ක්‍රමයක්:

ලග්න ස්ඵුටය වැටී ඇත්තේ කුමන නවාංශක ද්වාදශාංශකයකටද යන්න බැලිය යුතු වේ. ඔත්තේ නම් පිරිමියෙකි. මෙහිදී රැගෙන ඇත්තේ (අංශක 3 කළා 20 )/12 =(කලා 200 )/12 = කළා 12 යන ප්‍රමාණයය. මෙය විසඳා ගැනීමට අප වෙහෙසිය යුතුය. (… මෙය කිසිම පොතක මා නුදුටුවෙමි. එසේ පොතක ඇතිනම්, එය මට එන්නට ඇත්තේ පූර්ව භවය ඔස්සේ විය යුතුය. එසේ නැත්නම් එය කිසිම වැඩකට නැති හිතළුවක් විය යුතුය.). එහෙත් වඩා හොඳ ප්‍රතිපල ලැබිණි.

ඉතා නිවැරදි උපත් වෙලාවල් සමඟ මේ පරීක්ෂණය කල යුතු වේ. පිටුවේ සිටින හෙද, හෙදි දොස්තරවරු, දොස්තරවරියන්ගේ සහාය මේ ඉතා නිවැරදි උපත් වෙලාවල් ලබා ගැනීමට සහ එයින් අඩුම ගානේ උපත් සීයක් වත් ඇති, නිවැරදි නියැදියක් තනා ගත යුතුය. ඒ හා ඉහත සඳහන් සිද්ධාන්ත වගුවකට එක් කල යුතු වේ.

Play while play- work while work කියා කතාවක් ඇත. මෙය විශාල පරාසයක් ඇති මාතෘකාවකි. එසේ හෙයින් මේ පෝස්ට් එක වැදගත් පරීක්ෂණයක් සඳහා හෙයින්, පරීක්ෂණාත්මක දත්ත සහ නිගමන වලට පමණක් වෙන් කරමු. ‘පොරත්වය’ පෙන්වීමට මේ පෝස්ට් එක භාවිතා නොකරන ලෙස ඉල්ලමි. වෙන විදියකින් කිව හොත්; “මෙහි නොදන්නා රෙද්දවල් උස්සන්නේ නැතිනම් කෘතඥ වෙමි”. ‘වරහා මිහිරය’ වත් නොකියවා ඇති කෙනෙක්, හුදෙක් මෙහි කාලය කෑම පමණක් කරනු ඇත. මේ සටහන ඔවුන්ට නොවේ. ඒ අතර පරීක්ෂණයක් සාර්ථකව කරන්න අත්වැළක් වන අයට, නිවැරදි උපන් වෙලාවල් සහ ස්ථාන දී , මේ සඳහා උදව් දිය හැක. එතනින් එහාට අවශ්‍ය නම් ජ්‍යෝතිෂය පට්ට පල් බොරුවක් යයි ඔබට නිගමනය කල හැක. එතෙක් ජ්‍යෝතිෂය ගැන නිගමන වලට එළබ නොසිටීම ඇඟට ගුණය

නැවතත් අපගේ මාතෘකාවට.

ෆේස්බුක් සමාජ ජාලයේ තුලාව නම් සමූහයේ සටහන් වූ එක්තරා මෙවැනි ජ්‍යෝතිෂමය සංවාදයක එක්තරා කාන්තාවක්, ඇය ගේ දරුවා සමඟ අල්ලපු වාට්ටුවේ තවත් දරුවෙක් විනාඩියක පමණ වෙනසකින් එකම හඳහනකින් උපත ලැබූ බව කීවාය. එම නිසා වුවද, එම දරුවන්ගේ ඉරණම බොහෝ වෙනස් බවද කීවාය. නොදැන කතා කිරීම සහ, මෝඩ කම තරම් කරුමයක් තවත් නැත. හඳහන යනු කුමක්ද ?

කෙනෙක් උපදින විට නැගනහිර ක්ෂිතිජයේ පායමින් පවතින රාශිය හඳහන හෙවත් දළ කේන්ද්‍රය වේ. එය දළ වශයෙන් අංශක 30ක් පමණ වේ. රාශි 12 ක් ඇති හෙයින් එක් රාශියක් පායා වෙනත් රාශියක් එන්නට මෙහිදී පැය 2 ක් පමණ යන බව ඔබට පෙනෙනු ඇත. (පැය 24 )/ 12 = පැය 2. මේ නිසා හඳහන තවත් සියුම් කරගනු ලැබේ. එනම් එක් රාශියක් තවත් කොටස් 9කට බෙදේ. ඒ අනුව එම රාශියේ නවයෙන් කොටසක් [හෙවත් නවාංශකයක් හෙවත් අංශක 3 ක් සහ කළා 20ක්] පායන්නට ගත වන්නේ (විනාඩි 120)/ 9 කි. එනම් විනාඩි 13 ක් සහ තත්පර 20 ක් වේ. මෙසේ විශාල ආරෝග්‍ය ශාලාවක විනාඩි 13ක් තුල දරුවන් දෙදෙනෙක් උපත ලද විට, ඒ දරුවන් ගැහැණු හා පිරිමි වන බව කීමට ජ්‍යෝතිෂය අවශ්‍ය නැත…

[එහෙත් ඉහත මා කියන ක්‍රමයේ , නවාංශකයක් තවත් කොටස් දොළහකට බෙදේ. එනම් එහි එක් කොටසක් වන්නේ (අංශක 3 සහ කළා 20)/ 12 = කළා 16 ක පමණ ප්‍රමානයක් එන නිසා ඒ ක්‍රමය නිවැරදි නම් වඩා සාර්ථක ප්‍රතිපල ලැබේ.]

එය එසේ හෙයින්, රාශිය පමණක් නොව, රාශිය සහ නවාංශකය ගැනීමද ස්ත්‍රී පුරුෂ භාවය සෙවීමට ප්‍රමාණවත් නැති බව ඔබට පෙනෙනු ඇත. තවද දරුවෙක් උපදින්නට විනාඩි කීපයක් යන්නේය. එහිදීද ඔලුව හෝ කකුල් මුලින් එළියට ඒ. සමහර ජ්‍යෝතිෂ ග්‍රන්ථ වල, මවගේ සිරුරේ සිට ඔලුව එලියට එන කාලය සැලකීමට ගනී. එහෙත් මේවා ප්‍රමාණවත් නැත.

මේ විෂයය ගැන කාලයක් සැලකිළිමත් වූ හෙයින්ම ඉහත ක්‍රම ගැන සිතුවෙමි. කරුණාකර ස්ත්‍රී පුරුෂ භාවය නිරීක්ෂණය කිරීමට හැර අනෙක් ජ්‍යෝතිෂමය දේ මෙතන නොඅසා සිටින්න. (මෙවැනිම වූ අත්ළ බලන පරීක්ෂණයක් කරන්න ගොස් මට අන්තිමට වූයේ, අත් බලා දින ගණනක් ප්‍රතිපල කීමට පමණි. මා වෘත්තීය හෝ ප්‍රවීණ ජ්‍යෝතිෂ වේදියෙක් නොවෙමි.). කිසියම් රුපවාහිණී නාළිකාවක මේ ප්‍රශ්නය , එක්තරා ‍ජ්‍යොතීර්වේදියෙකුට යොමු කරනවා දුටුවෙමි. ඒ ප්‍රශ්ණය ඇසුවේ දොස්තර කෙනෙකි. ඔහු ඉඳුරාම කියා සිටියේ ජ්‍යෝතිෂය බොරුවක් බවය. එහෙත් ඔහු එය බොරුය කියන්නේ, එයා ගැන මෙලෝ හසරක් නොදැනය. එතැන ඇති ඥාණයක් නැත. තර්කානුකුල නැත. මක්නිසාද යත්, ඔහුගේ තර්ක හැකියාව ඒ බටහිර වෙදකමට පමණක් සීමාවී ඇති නිසාවෙනි.

මේ ලෝකයේ ඥාණය හැර වෙන කිසි දෙයක් වටින්නේ නැත. දැනුම අවශ්‍ය නම්, “චීනයට හෝ ගොස් හෝ දැනුම ලබා ගත යුතු බව” නබි තුමා පැවසුවේය. වඩා ඈත ඇති ජපානයට යන්න කියා ඔහු කීවේ නැත. එහි සැඟවුණු අදහස අද ඉන්නා ඉස්ලාමිකයන් දන්නේ නැත. මෙයට අවුරුදු 1450කට පෙර චීනයේ බුදු දහම උච්චස්තානයේ තිබණු බව ඔවුන් නොදනී. දෙවියන්ගෙන් පරිබාහිර විශ්වය ගැන නබිතුමා දුන් ඉඟිය එය විය. බුදුන් වහන්සේ වදාළේ, “මාගේ දහම ඥානවන්තයන්ට පමණි” කියාය. එසේ හෙයින්, මේ ළිපිය, එසේ දැනුම සොයන්නට මිසක ඵලාඵල දැන ගන්නා අයට නොවේ. මෙය හුදෙක් ස්ත්‍රී පුරුෂ භාවය සෙවීමේ ඒකායන පරමාර්ථය ඇතිව කරන පරීක්ෂණයකි.

ජ්‍යෝතිෂය වූ කලී අද්භූත , අභූත සහ සාවද්‍ය දෙයක් නොවන බව, මේ පාලක පරීක්ෂණය නිවැරදි නම් ඔබ තේරුම් ගනු ඇත.

සටහන
ලලිත් කරුණාරත්න෴
https://www.facebook.com/lalith.karunaratna

Leave a Reply