පඤ්චාංගය

පඤ්චාංගය(හෝ පංචාංගය) වචනාර්ථයෙන් ගත්විට එයින් අර්ථවත් වන්නේ අංග පහක් නැතිනම් කොටස් පහක් යන්නයි. පඤ්චාංගය ලෙස හඳුන්වන්නේ  පුරාණ කාලය මනින ක්‍රමයන්ට අනුව ඕනෑම මොහොතකට හිමි ලක්ෂණ 5ක් දැක්වීමේ ක්‍රමයකි. වෙනත් ආකාරයකට සඳහන් කළොත් පඤ්චාංගය ලෙස හැඳින්වෙන්නේ එක් එක් දිනයන් හී ඕනෑම වේලාවක් සඳහා ඇති ලක්ෂණ දක්වන ලද කැලැන්ඩරයකි. මේ කැලැන්ඩරයේ එක් එක් දිනයට දක්වා ඇති ලක්ෂණ ගණන 5කි. ඒවා නම්,

  1. දිනය – සතියේ දිනය. (ඉරිදා, සඳුදා ආදී) දිනයක් යනු සූර්‍ය උදාවේ සිට ඊළඟ දවසේ සූර්‍ය උදාව දක්වා කාලය යි. (බටහිර සම්මත ක්‍රමයට අනුව දිනය ලබන්නේ උදේ 12ට නැතිනම් මධ්‍යම රාත්‍රිය ගෙවීමෙන් පසුව වුවත් පෙරදිග සම්ප්‍රදායට අනුව දිනය ගෙවෙන්නේ ඉර උදාවත් සමඟ වේ. සූර්‍යා අස්ථවූ අවස්ථාවේ සිට උදාව දක්වා කාලය රාත්‍රිය වේ.)
  2. නැකැත – පඤචාංගයේ නැකත ලෙස හඳුන්වන්නේ, පෘථිවිය මධ්‍යයේ සිට නිරීක්ෂණය කරන්නෙකුට සඳු ඒ මොහොතේ සිටිනා ලෙස පෙනෙන නක්ෂත්‍ර කොටස යි. පෘථිවි කේන්ද්‍රෙය් සිට සමකය ඔස්සේ අහස කොටස් 27කට බෙදූ විට එක් නැකතක් ලැබේ. (වැඩි විස්තර සඳහා නැකැත පාඩම බලන්න)
  3. තිථිය – සඳු සහ සූර්‍යා අතර කෝණික වෙනස මෙම අංගය මගින් මනිනු ලැබේ. එක් තිථියක් සඳු සහ සූර්‍යා අතර වෙනස අංශක ප්‍රමාණය අංශක 12කට සමාන වේ.  (වැඩි විස්තර සඳහා කාලය පාඩම සටහ බලන්න)
  4. යෝගය – සඳු සහ සූර්‍යා ගේ පිහිටීමේ කෝණික එකතුව(සඳුගේ සහ සූර්‍යාගේ ස්ඵුටයන් එකට එකතු කර ලැබෙන අගය) යෝග ලෙස හඳුන්වයි. නැකැත මෙන්ම යෝග ද 27ක් ඇත.
  5. කරණය – තිථියෙන් භාගයක් කරණය ලෙස හඳුන්වයි. සූර්යා සහ සඳු අතර කොනික වෙනස අංශක 6ක් වූ විට එක් කරණයක් ගෙවෙයි. කරණ දෙකක් ගෙවෙන විට එක් තිථියක් ගෙවෙයි.

ඉහත දක්වා ඇති පරිදි පඤචාංගයේ එන අංග 5න් 3ක්ම (දිනය හා නැකත හැර) ගණනය කරනු ලබන්නේ සඳුගේ සහ සූර්‍යාගේ අන්යෝන්‍ය පිහිටීම මත ලබාගන්නා ගණිතමය අගයන්ට අනුව ය. සතියේ දිනය සූර්‍යාගේ සාපේකෂ චලිතය ත්, නැකත සඳුගේ පිහිටීම මතත් ගණනය කරනු ලබයි..

පඤ්චාංගය ලෙස හැඳින්වෙන දිනය නැකත, තිථිය, යෝගය, කරණය අහසේ පිහිටීමේ ප්‍රතිබිම්බයක් ලෙස ජෝතිෂයේ භාවිතා කරයි. මේ හේතුව නිසා ජන්ම පත්‍රයක පඤ්චාංගය සඳහන් කිරීම අනිවාර්‍ය අංගයකි. පඤ්චාංගය ගණනය සඳහා භාවිතා වන සිද්ධාන්ත බොහෝමයක් ලබාගෙන ඇත්තේ සූර්‍ය සිද්ධානතය සහ ග්‍රහළඟාව නැමැති ග්‍රන්ථයන් දෙකෙන් වේ. නමුත් මෙම සූර්‍ය සිද්ධාන්තය ආදී පැරණිග්‍රන්ථ වල ඇති දත්ත එකිනෙක නොගැලපීම් නිසා ඒවා වර්තමානයේ භාවිතයට ගත නොහැකි තත්වයකට පත්විය. මේ හේතුව නිසා ඉන්දියානු ආණ්ඩුව විසින්, ඉන්දියාව පුරා විසිර සිටි ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීන් එකතු කර අපට අහසේ පෙනෙන ග්‍රහ පිහිටීමට සමපාත වනආකාරයට නිවැරදි පඤ්චාංගය සහ අනෙකුත් ජොතිශය ගණනය කිරීම් සකස් කිරීමට තීරණය කෙරුණි. අද ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ බහුලවම භාවිතා කරන්නේ මේසේ සම්මත කරගත් ක්‍රම වේදයන්ට අනුව ගණනය කරගත් ග්‍රහස්ඵුට, ලග්නස්ඵුට හා පඤ්චාංගයන් ය.

පඤ්චාංගය ලබන ගෙවෙන වේලාවන් සඳහන් කර සාදනු ලබන දින දර්ශනයට පඤචාංග ලිත ලෙස විවාහර කෙරේ. මෙම පඤචාංග ලිත මගින් සුබ හෝරා කාලයන් මෙන්ම ග්‍රහස්පුට සහ දවස උදාව සමග ඇති ලග්න ශේෂය ආදී කරුණු ගණනාවක් ඇතුළත් වේ. අද මෙන් පරිගණක මෘදුකාංග බහුලව නොපැවති කාලයක, පඤ්චාංග ලිත් ජොතිෂ්‍ය වේදීන්ට නැතුවම බැරි උපකරණයක් විය

පඤ්චාංගයේ එක් එක් අංගයන් ගැන වෙන වෙනම සාකාච්ඡා කරමු.

1. දිනය

දින 7ක් වන අතර, එක් සූර්‍ය උදාවක සිට පසුදා සූර්‍ය උදාව දක්වා කාලය දිනයක් ලෙස සලකනු ලබයි. දිනයන් සඳහා ජොතිෂ්‍ය විද්‍යාවේ භාවිතා වන ග්‍රහයන් 7 දෙනා ගේ නම් ලබා දී ඇත. ඒ අනුව ගත් විට දින නාම පහත පරිද වේ,

• ඉරිදා – රිවි දා (රවි)
• සඳුදා  (සඳු )
• අඟහරුවාදා – කුජ දා (කුජ)
• බදාදා – බුද දා (බුද)
• බ්‍රහස්පතින්දා  – ගුරු දා (ගුරු)
• සිකුරාදා  – කිවි දා (සිකුරු)
• සෙනසුරාදා – ශනි දා (ශනි)

2. නැකත

නැකත පිළබඳ අපි නැකැත් (නක්ෂක්ත්‍ර) චක්‍රය මාතෘකාව යටතේ කතා කළා. නමුත් පඤ්චාංගයේ දී අපි නැකත ලෙස භාවිතා කරන්නෙ ඕනෑම මොහොතක සඳු සිටි නැකතේ(එහෙමත් නැතිනම් නක්ෂක්ත්‍ර තාරකාවේ) නමයි. දවසේ ඕනෑම වෙලාවක ජොතිෂයේ භාවිතා වෙන සියලුම සිටින ස්ථානය අනුව කිනම් හෝ නැකැතක සිටිනු ඇත. සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වීම අපි නව සූර්‍ය වර්ෂයක ආරම්භය ලෙස සලකයි, මෙහිදී අලුත් අවුරුදු උදාවෙන දිනය(අප්‍රේල් 14/13 දින වල යෙදෙන) තුළ සූර්‍යා ගමන් කරන්නෙ අස්විද නම් පළමු නැකතේයි. මෙසේ සූර්‍යා එක් වර්ෂයක් තුළ නැකැත් 27ම පසු කර නැවතත් අස්විද නැකත කරා එළඹේ. එසේම සඳුද එක චන්ද්‍ර මාසයක් තුළ සියලුම නැකැත් පසු කරමින් එක් වටයක් ගමන් කරයි, සාමාන්යෙන් එක් දිනක් (පැය 24ක කාලයක්) තුළ සඳු එක නැකතක හෝ නැකැත් 2ක ගමන් කළ හැකියි. පඤ්චාංග ලිතවල මෙසේ දිනය තුළ ඉර උදාවේ සිට කොතරම් වෙලාවක් සඳු එදින ඉර උදාවේ තිබුණු නැකත පවතීද යන්න දක්වා ඇත.

3. තිථිය

තිථිය පිළිබඳව අපි කාලය මැනීම මාතෘකාව යටතේ ද හැඳින්වීමක් කළා. පඤ්චාංගයේදීද සඳුගේ කලාව නොහොත් තිථිය එසේම භවිතා කරයි.

4. යෝගය

යෝගය යන්නේ වචනාර්ථය එක්වීමයි. පඤ්චාංගයේ දී යෝගය ලෙස අප හඳුන්වන්නේ හිරු සහ සඳු ගේ සංයෝගය ගැනයි. අංශක 360ක ප්‍රමාණය සම්පූරණ කොටස් 27කට බෙදූ විට ලැබෙන අගය වන්නේ අංශක 13යි කලා 20කි.  එක් යෝගයක අංශක 13කුත් කලා 20ක් පවතින අතර එය නැකැත් චක්‍රයේ නැකැත් හා සමපාතවෙයි. යෝග 27 පිළිවෙලින් පහත දක්වා ඇති ආකාරයට වෙයි.

  1. විශ්කමභ
  2. ප්‍රීති
  3. ආයුෂ්මන්
  4. සෞභාග්‍ය
  5. ශෝභන
  6. අතිගණ්ඩ
  7. සුකර්ම
  8. ධෘති
  9. ශුල
  10. ගණ්ඩ
  11. වෘද්ධි
  12. ධෘම
  13. ව්‍යාඝාත
  14. හර්ෂණ
  15. වජ්‍ර
  16. සිද්ධි
  17. ව්‍යතිපාත
  18. වාරියන්
  19. පරිඝ
  20. ශිව
  21. සිද්ධ
  22. සාධ්‍ය
  23. ශුභ
  24. ශුබ්‍ර
  25. බ්‍රහ්ම
  26. මාහේන්ද්‍ර
  27. වෛධෘති

යම් මොහොතක සඳු මේෂ රාශියේ අංශක 25 වන ස්ඵුටයේ ගමන් කරයි යැයි සිතමු. ඒ මොහොතේදී සඳු වෘෂභ රාශියේ අංශක 5 (වෘෂභ දෙවන රාශිය බැවින් අංශක වලට හැරවූ විට අංශක 35 යි) ගමන් කරන බව සිතමු. ඒ අනුව හිරු සහ සඳුගේ අංශක ප්‍රමාණ එකතු කළ විට ලැබෙන අගය අපට පහත පරිදි ගණනය කළ හැක.

සඳු සහ හිරුගේ ස්ඵුට වල එකතුව අංශක = 25 + 35
සඳු සහ හිරුගේ ස්ඵුට වල එකතුව අංශක = 60
ගත කරන ලද යෝග ප්‍රමාණය = සඳු සහ හිරුගේ ස්ඵුට වල එකතුව අංශක / එක යෝගයක් සඳහා ඇති අංශක ප්‍රමාණ ය
ගත කරන ලද යෝග ප්‍රමාණය = (අංශක 60) / (අංශක 13 කලා 20යි)
ගත කරන ලද යෝග ප්‍රමාණය = 4.5යි

එනම් ඉහත සඳහන් කරන ලද උදාහරණයට අනුව එම මොහොතේ යෝග 4ක් පසුකර, දැනට පවතින යෝගයේ අර්ධයක්ද ගත කර ඇත.  එනම් ඒ මොහොතේ පවතින්නේ 5වන යෝගය වන ශෝභන යෝගය යි.

5. කරණය

තිථියෙන් භාගයක් කරණය ලෙස හඳුන්වයි. හිරු සහ සඳු අතර කෝණික වෙනස අංශක 6ක් වූ විට එක් කරණයක් ගෙවෙයි. කරණ දෙකක් ගෙවෙන විට එක් තිථියක් ගෙවෙයි. තිථි 30ක් ඇති නිසා කර්ණ 60ක් ඇතැයි සමහර විට ඔබ සිතනවා ඇති. නමුත් නාමික වශයෙන් කර්ණ ඇත්තේ 11ක් පමණි.  ඒවාද චර කර්ණ සහ තිර කර්ණ ලෙස කොටස් දෙකකට බෙදෙයි.  තිර කරණ 4ක් ඇත අව පක්ෂයේ අවසාන භාගයේ සහ පුර පක්ෂයේ මූල් කොටසට අයත් වන කරණ කිහිපයක්(අව තුදුස්වක අවසාන අර්ධයේ සිට පුර පෑල‍වියේ පූරව අර්ධය දක්වා කොටස)  තිර කරණ ලෙස වෙන්ව හඳන්වයි.

චර කරණ 7ක් ද  තිර කරණ 4ක් ද ඇත,

චර කරණ

  1. බව
  2. බාලව
  3. කෞලව
  4. තෛතිල
  5. ගරජ
  6. වනිජ
  7. විෂ්ටි

තිර කරණ

  1. ශකුණ
  2. චතුස්පාද
  3. නාග
  4. කින්තුස්‌න (කිංස්තුංග)

කරණය සහ තිථිය ගණනය කිරීම

  • සඳුගේ ස්ඵුටය ගෙන එය සූර්යයාගේ ස්ඵුටයෙන් අඩු කරන්න. ලැබෙන පිලිතුර 0 ට වඩා අඩුනම් එයට 360ක් එකතු කරන්න.
  • එවිට ලැබෙන පිළිතුර 0ත් 180ත් අතරනම් තිථිය පුර පක්ෂයට ද 180ත් 360ත් අතර නම් අව පක්ෂයටද අයිති වේ.
  • ලැබුනු පිළිතුර 12න් බෙදූ විට ලැබෙන අගය ගන්න. (ඉතිරිය නොසලකා හරින්න)
  • පිලිතුර 15ට වඩා වැඩිනම් 15ක් අඩු කරන්න.
  • පිළිතුර  0 නම් පෑලවිය තිථිය ද, 1 නම් දියවක ආදී ලෙස තිථිය ලබා ගත හැක (පිළිතුරට 1ක් එකතු කළ විට ලැබෙන්නේ කී වන තිථියද වගයි). පිළිතුර 15 නම් පුර පක්ෂයේදී පුර පසළොස්වක තිථියද අව පක්ෂයේදී නම් අමාවකද ලෙස ගත යුතුය.

කරණය ගණනය කිරීම.

තිථිය ගණනය කිරීම සඳහා කළ පරිදිම සඳුගේ ස්ඵුටය ගෙන එය සූර්යයාගේ ස්ඵුටයෙන් අඩු කරන්න. ලැබෙන පිලිතුර 0 ට වඩා අඩුනම් එයට 360ක් එකතු කරන්න.

ලැබුණු පිළිතුර අංශක 24 සිට 336 දක්වා නම් පහත පරිදි ගණනය කරන්න

  • අංශක ප්‍රමාණය 6න් බෙදන්න.
  • ලැබුණු පිළිතුර (ඉතිරිය නෙසලකා) නැවත 7න් බෙදා ශේෂය ගන්න.
  • ඉතිරිය ශූන්‍ය නම් එය හත්වන චර කරණ යයි. අනෙකක් නම් පිලිවෙලින් ලැබෙන අංකයට අනුව කරණය ගත යුතුය. (1 නම් බව, 2නම් බාලව ආදී ලෙස)

ලැබුණු පිළිතුර අංශක 336 සිට 24 දක්වා නම් පහත පරිදි ගණනය කරන්න
අව තුදුස්වක අවසාන අර්ධයේ සිට පුර පෑල‍වියේ පූර්ව අර්ධය දක්වා කොටසට අයිති නම් පහත පරිදි ගණනය කරගත යුතු ය.

  • එය අංශක 342 සිට 348 දක්වා නම් ශකුණ කරණ යයි.
  • එය අංශක 348 සිට 354 දක්වා නම් චතුස්පාද කරණ යයි.
  • එය අංශක 354 සිට 0 දක්වා නම් නාග කරණ යයි.
  • එය අංශක 0 සිට 6 දක්වා නම් කින්තුස්‌න (කිංස්තුංග) කරණ යයි.

 

 

12 Responses to “පඤ්චාංගය”

  1. Asanka

    Why the panchanga is not made as per birthday and current location.i think it is required.

    Reply
  2. dasun

    @Asanka,
    පංචාගයට උපන් ස්ථානයේ බලපෑමක් නැත. පංචාගයේ දිනය කොටස පමණක් උපන් ස්ථානය මත වෙනස විය හැක. පංචාංගයේ පදනම වන්නේ හිරු සඳුගේ පිහිටීමයි. අප ලොව කොහේ සිට බැලුවත්, හිරු සඳුගේ පිහීටීම වෙනස් නොවේ. එබැවින් ලොව කොතැනක ඉපදුනත් එකම වෙලාවේ උපන් අයගේ පංචාංගය එකම වේ. නමුත්, ලග්නය ස්ඵුටය භාව ස්ඵුට ආදිය උපන් ස්ථානය අනුව වෙනස් වේ.

    Reply
    • asanka

      based on the birthday what are the best timing we should be identified. Based on birth time,nakath, & etc how do you confirm a best time.( i mean using ur muhurtha software). When it calculate both good and bad timings are show in the software.

      Reply
  3. Indika

    I think if you give the English names of the given astrological terms, it will be very useful for the people who wish to read foreign books or brows internet.

    Reply
    • dasun

      Thank you for your valuable feed back. As time permits I Will update articles as you suggested!

      Reply
  4. sri

    Where can I buy a software (program) for making astrological charts – for finding the lagna and where the planetary signs are based on the birthday and time?

    Reply
  5. kumara

    i like it

    Reply
  6. dharmaratne

    I appreciated your great job.On the otter way your staff in proper office have well knowledge about this field. I propose better to include the other important things for ‘Muhurta’ also.

    Reply
  7. A g niroshani Rajawardana

    my fucher life

    Reply

Leave a Reply