කාලය මැනීම

ජ්‍යොතිෂයේ මූලිකම අංගයක් වන්නේ කාලය ගණනය කිරීම යි. ජ්‍යොතිෂයේදී කාලය මැනීම සඳහා හිරු හා සඳු උපයෝගී කරගනී. සම්මත කාල මැනීම් හා ජ්‍යොතිෂය කාල මැනීම් අතර වෙනස්කම් ඇත.

වසර (සූර්‍ය වර්ෂය)

ජ්‍යොතිෂයේදී වසරක් යනු පෘථිවිය සූර්යයා වගේ වටයක් ගමන් කරන කාලය (සූර්යයා පෘතිවිය වටේ සාපේක්ෂව ගමන් කරන කාලය) යි. මෙය සම්මත දින වලින් ගණනය කළ විට ආසන්න වශයෙන් දින 365.25 කි. සූර්‍ය වර්ෂය ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි වේ. වසරක් ආරම්භ කිරීමට නියත ලක්ෂයක් අවශ්‍යය. පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වන්නේ තමා වටාද කැරෙකෙමිනි. පෘථිවිය තමා වටා එක් වටයක් ගමන් කිරීමට ගන්නා කාලය 1 දිනයකි. සූර්‍යා වටා එක වටයක් ගමන් කිරීමට ගත කරන කාලය වසරකි. පෘථිවිය ආසන්න වශයේන අංශක 23.5 පමණ ඇලයක් ඇතිව මෙසේ සූර්‍යා වටේ ගමන් කරයි. මේ නිසා සමකයට සූර්‍යා උදාවන්නේ සෑම විටම නැගෙනහිර දිශාවෙන් නොවේ. නමුත් වසරකට දින දෙකක් හරියට නැගෙන හිර අහසින් සූරයා උදාවේ. එසේ වන්නේ සෑම වසරකම මාරුතු 21ට ආසන්න දිනකදී පමණි. එම ලක්ෂය මේෂ රාෂිය ලෙස හැඳින්වේ. නමුත් වේදීය ජ්‍යොතිෂයේදී ග්‍රහයන් ගණනය කරන්නෙ ඉහත ආකායට වඩා සංකීරණ ක්‍රමයකටය. පෘථිවිය සූර්‍යා ඇතුලු සෞරයග්‍රහ මන්ඩලයම අභ්‍යවකාෂයේ වෙනත් තාරකාවක සිට නරඹන්නේනම් අපට දිස්වන ආකාරයට වේදීය ජ්‍යෝතිෂයේ ග්‍රහයන් පිහිටි අංශක ගණන වෙනස් කරනු ලබයි. ඒ අනුව අයනාම්සය නමින් හැඳින්වෙන අංශක ප්‍රමාණයක් එකතු කිරීමට සිදුවේ. අයනාම්සය ගැන වඩා විස්තරව පැහැදිලි කිරීමට වෙනත් ලිපියකින් සවිස්තරව කතා කිරීමට අපි අදහස් කර සිටිමු. බටහිර ජ්‍යෝතෂ්‍යට අනුව සූර්‍ය වර්ෂය ආරම්භවන්නේ මාර්තු 21 දින වුවත්, වේදීය ජ්‍යෝතිෂයට අනුව වර්ෂය උදාවන්නේ සිංහල/හින්දු අලුත් අවුරුද්ද උදාවන අප්‍රේල් 13/14 ආසන්න දිනයක වීමට හේතුවද මේ අයනාම්සය නිසා ග්‍රහයන්ගේ පිහිටිම වෙනස් ලෙස වේදීය ජොතිෂය භාවිතා කිරීම යි. ඔබට අයනාම්සය යන අදහස තේරූම් ගැනීමට මේ මොහොතේ අපහසු වුවත්, වේදීය ජ්‍යෝතිෂයේ සහ බටහිර ජ්‍යෝතිෂයේ ග්‍රහයන් ගේ ස්ඵුටය(අංශක ප්‍රමාණය) ගණනය කරන්නෙ ක්‍රම දෙකකට බව දැන සිටීම දැනට ප්‍රමානවත් වේ.

මාසය (සූර්‍ය මාසය)

ජ්‍යොතිෂයේදී මාසය සේ සැලකෙන්නේ හිරු සහ සඳු වසරකට මුණගැසෙන වාර ගණනයි. අහස රාශි 12කට බෙදීමට පදනම් වන්නේද මෙම හේතුවයි. වෙනත් අයුරකින් පැහැදිලි කරන්නේ නම් සූර්‍යයා එක් වටයක් පෘථිවිය වටේ ගමන් කරන විට (සාපේක්ෂව) චන්ද්‍රයා වට 12 ක් ගමන් කරයි. මෙම හේතුව නිසා වසරක් සමාන කොටස් 12කට බෙදයි. සූර්‍යා වර්ෂ අවසානය දක්වා ගමන්කරන අංශක ප්‍රමාණය අංශක 360කි. එය සමානකොටස් 12කට බෙදූවිට එක මාසයක් සඳහා අංශක 30ක් ලැබේ. ඒ අනුව ආසන්න වශයෙන් ගත් කළ අපේල් 14 සිට මැයි 13 දක්වා කාලය තුල සූර්‍ය මේෂ රාශියේ ගමන් කරයි. එම මාසය මේශ රවිය ලෙසද හඳුන්වයි. සිංහල ක්‍රමයට බක් මාසය නමින් ද සංස්කෘත ක්‍රමයට විශාකා මාසය ලෙසද හඳුන්ව යි. මේ අකාරයට වසරේ මාස දොලහ සඳහා භාවිතා වෙන නාමයන් පහත වගුවේ දක්වා ඇත.

රාශිය මාසයේ සංස්කෘත නම මාසයේ සිංහල නම
අප්‍රේල්/මැයි මේෂ විශාකා බක්
මැයි/ජූනි වෘශභ ජේෂ්ඨ වෙසක්
ජූනි/ජූලි මිථුන අෂදා පොසොන්
ජූලි/අගෝ කටක ශ්‍රවන ඇසළ
අගෝ/සැප් සිංහ බද්‍රපාද නිකිණි
සැප්/ඔක් කන්‍යා අස්වායුජ බිනර
ඔක්/නොවැ තුලා කර්තීක වප්
නොවැ/දෙසැ වෘශ්චික මුර්ගසිර ඉල්
දෙසැ/ජන ධනු පුෂ උදුවප්
ජන/පෙබ මකර මාග දුරුතු
පෙබ/මාර්තු කුම්භ පල්ගුන නවම්
මාර්තු/අප්‍රේල් මීන විත්‍ර මැදින්

 

දිනය (නොහොත් සූර්‍ය දිනය)

ඉංග්‍රීසි ක්‍රමයේදී දිනය ආරම්භ වන්නේ රෑ 12 ට. එහෙත් ජ්‍යොතිෂයේදී එක් සූර්‍ය උදාවක සිට පසුදා සූර්‍ය උදාව දක්වා කාලය දිනයක් ලෙස සලකනු ලබයි.  සාමාන්‍ය භාවිතයේදී මෙන්ම ජ්‍යොතිෂයේදී ද දිනයක් හඳුනා ගන්නේ ප්‍රධාන ග්‍රහයන් හත්දෙනාගේ නාමයෙනි.  සම්මත ක්‍රමයේදී ඉරිදා දින ගෙවෙන්නේ ඉරිදා රාත්‍රී 12 ට වුවත් ජ්‍යොතිෂයේදී ඉරිදා දින ගෙවෙන්නේ සඳුදා දින ඉර උදාවත් සමඟය.

  • ඉරිදා – රිවි දා (රවි)
  • සඳුදා  (සඳු )
  • අඟහරුවාදා – කුජ දා (කුජ)
  • බදාදා – බුද දා (බුද)
  • බ්‍රහස්පතින්දා  – ගුරු දා (ගුරු)
  • සිකුරාදා  – කිවි දා (සිකුරු)
  • සෙනසුරාදා – ශනි දා (ශනි)

 

හෝරාව

හෝරාව මනින ක්‍රම දෙකක් ඇත. බහුලව භාවිතා වන්නේ දිනයක් (ඉර උදාවේ සිට ඊළග දින ඉර උදාව දක්වා ගතකරන කාලය) සමාන කොටස් 12කට බෙදීමයි. මේ ආකාරයට හෝරාව ගණනය කිරීම මහා කාලය නම් වේ. අනෙක් ක්‍රමය වන්නේ සූර්යය උදාවේ සිට සූර්යය අස්ථය (සූර්යයා බස්නාහිරෙන් සම්පූර්ණයෙන් බැසගොස් රැය උදාවන) දක්වා කාලය සමාන කොටස් 12 කට බෙදා එම එක් කොටසක් හෝරාවක් ලෙස ගැනීමයි ඉන් පසු සූර්‍ය අස්ථයේ සිට සූර්‍ය උදාව දක්වා ගතකරන කාලය සමාන කොටස් 12 කට බෙදා එයද හෝරාව ලෙස ගැනීම යි. එම ක්‍රමය යම කාල නමින් හැඳින්වේ. එහිදී දිවා කාලයේ ගන්නා හෝරාවට දිවා මානය ලෙසත් රාත්‍රී කාලයේ ගන්නා හෝරාවට රාත්‍රී මානය ලෙසත් හැඳින්වේ.  (මේ ආකාරයට ජ්‍යොතිශ්‍ය ගණනය කරන්නේ චූල ජ්‍යොතිෂයේදී වේ)

චන්ද්‍ර මාසය හා චන්ද්‍ර දින හෙවත් තිථි

සූර්යයා හා චන්ද්‍රයා එකිනෙක හමුවී (එකම අක්ෂාංශයකට පැමිණ) නැවතත් සූර්යයා හා චන්ද්‍රයා එකම අක්ෂාංශයකදී හමුවෙනතුරු කාලය චන්ද්‍ර මාසය නම් වේ.(ආසන්න වශයෙන් සම්මත දින වලින් දින 29 යි පැය 12 යි මිනිත්තු 44 ත්තපර 3 ක් පමණ) සූර්යයා හා චන්ද්‍රයා එකිනෙක හමුවෙන දිනයේදී චන්ද්‍රයා රාත්‍රී අහසේදී දිස්නොවේ. සූර්යයා හා චන්ද්‍රයා එකිනෙකට අක්ෂාංශ අංශක 180 ක් දුරින් (ප්‍රතිවිරුද්ධ දිශාවන් හීදී) ඇතිවිට පූර්ණ චන්ද්‍රයා දිස්වේ. පුර පසළොස්වක නමින් හඳුන්වන්නේ මෙම දිනයයි.

චන්ද්‍ර මාස ක්‍රමයට අනුව දිනයක් හඳුන්වන්නේ තිථියක් ලෙසය. අමාවක ගෙවීමත් සමඟ පුර පසළොස්වක දිනය ලබන තුරු ගතවන කාලය තිති 15කට බෙදේ.මේ කාලය තුල චන්ද්‍රයාගේ කලාව එකානෙක ඉදිරියට වැඩේ.

සූර්යයා හා චන්ද්‍රයා එකම අක්ෂාංශයකට පැමිණ චන්ද්‍රයා ඉදිරියට ගමන් කිරීම ආරම්භ කිරීමත් සමඟ පුර පෑලවිය තිථිය ආරම්භ වේ. එම තිථිය චන්ද්‍ර මාසය ආරම්භක තිථියයි.

පුර පෑලවායේ සිට පුර පසළොස්වක දක්වා කාලය “ පුර පක්ෂය ” සේ හැඳින්වේ. එම කාලය තුළ චන්ද්‍රයාගේ දීප්තිය මෙන්ම කලාවද වැඩේ. පසළොස්වක දිනයේ සිට අමාවක දිනය දක්වා චන්ද්‍රයාගේ දීප්තිය මෙන්ම කලාවද එකිනෙක අඩුවේ. එම කාලය “ අව පක්ෂය ” ලෙසද හැදින්වේ. පුර පක්ෂයේ ආරම්භක තිථිය පුර පෑලවිය ලෙස හැඳින්වූවා මෙන්ම අව පක්ෂයේ ආරම්භක තිථිය අව පෑලවිය ලෙස හැඳින්වේ. මේ ආකාරයට එකම තිථිය පුර සහ අව ලෙස එකම මාසය තුළ දෙවතාවක් යෙදේ.

සම්මත දිනය ආරම්භ වෙන වේලාව සහ ජොතිෂයේ භාවිතාවන සූර්‍ය දිනය ආරම්භය වෙනස් වන්නා සේම චන්ද්‍ර දිනය වන තිථිය ආර්මභය ද ඔරලෝසු වෙලාව සමග ඒකා කාරීව ගමන් නොකරයි. ආසන්න වශයෙන් සම්මත දින වලින් දින 29 යි පැය 12 යි මිනිත්තු 44 ත්තපර 3 ක් පමණ ගතවූ විට චන්ද්‍රයා එකම කලාවට පැමිනේ. මේ නිසා චන්ද්‍ර දිනයක් ආසන්න වශයෙන් පැය 23යි මිනිත්තු 37ක් පමණ පවතී. උදාහරණයක් ලෙස පුර පෑලවිය තිථිය අද දිනයේ උදැසන 8ට ආරම්භ වූවානම්, හෙට දිනයේ උදෑසන 7 යි මිනිත්තු 37ට පුර දියවක තිථිය ආරම්භ වේ.

පුර පක්‍ෂයේ තිථි 15

  1. පුර පෑලවිය
  2. පුර දියවක
  3. පුර තියවක
  4. පුර ජලවක
  5. පුර විසේනිය
  6. පුර සැටවක
  7. පුර සතවක
  8. පුර අටවක
  9. පුර නවවක
  10. පුර දසවක
  11. පුර එකොළොස්වක
  12. පුර දෙළොස්වක
  13. පුර තෙළෙස්වක
  14. පුර තුදුස්වක
  15. පසළොස්වක

අව පක්‍ෂයේ තිථි 15

  1. අව පෑලවිය
  2. අව දියවක
  3. අව තියවක
  4. අව ජලවක
  5. අව විසේනිය
  6. අව සැටවක
  7. අව සතවක
  8. අව අටවක
  9. අව නවවක
  10. අව දසවක
  11. එකොළොස්වක
  12. අව දෙළොස්වක
  13. අව තෙළෙස්වක
  14. අව තුදුස්වක
  15. අමාවක

One Response to “කාලය මැනීම”

  1. පඤ්චාංගය - panchangaya

    […] අංශක 12කට සමාන වේ.  (වැඩි විස්තර සඳහා කාලය පාඩම සටහ […]

    Reply

Leave a Reply